ඇස්. ගොඩගේ විසින් ප්‍රකාශිත දිවංගත, විශ්‍රාමලත් විදුහල්පති, ඩී. වී. සමරකෝන් මහතා විසින් සම්පාදිත 'සසර ගමන හා නිවන' ඇසුරින් සකස් කෙරෙන ලිපි මාලාවකි.

Sunday, March 25, 2018

1. නිර්මල බුදු දහම


බුදු දහම ප්‍රඥාවන්තයාට පමණක් විෂයය වන ගැඹුරු දහමකි. එහෙත් එය කෙමෙන් ගැඹුරු වන්නේ ඉතා සරල ඇරඹුමකිනි. 

බෞද්ධයා යනු බුදුන්, දහම්, සඟුන් කෙරෙහි පැහැදීමෙන්, ඒ කෙරෙහි විශ්වාසය තැබූ, තෙරුවන සරණ ගිය තැනැත්තෙකි. එය ශ්‍රද්ධාව ලෙස ද හැඳින්විය හැකිය. බුදු දහම නිවැරදිව අවබෝධ කර ගත් තරමට එම ශ්‍රද්ධාව තව තවත් ශක්තිමත් වේ. බුදු රදුන් යෝ ධම්මං පස්සති, සො මං පස්සති(යමෙක් ධර්මය දකීද, හේ මා දකී) යනුවෙන් වදාළේ එහෙයිනි. මෙහි ධර්මය යනුවෙන් අදහස් වන්නේ නිවන වන අතර දැනට අනුමානයෙන් දන්නා නිවන ප්‍රත්‍යක්ෂයක් වනතුරු ඉදිරියට යා යුතුය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස වදාළ, එසේ යායුතු මග වන්නේ

           1.      සම්මා දිට්ඨි - යහපත් නිවැරදි දැක්ම 
           2.      සම්මා සංකප්ප - යහපත් කල්පනාව, අරමුණ 
           3.      සම්මා වාචා - යහපත් වචන කතා කිරීම 
           4.      සම්මා කම්මන්ත - යහපත් ක්‍රියාව 
           5.      සම්මා ආජීව - යහපත් ජීවිකාව
           6.      සම්මා වායාම - යහපත් උත්සාහය
           7.      සම්මා සති - යහපත් සිතිවිලි හා
           8.      සම්මා සමාධි - සහපත් ධ්‍යානය 

යන අට වැදෑරුම් මාර්ගයයි.  

බුදු දහම, ශීලය, සමාධිය හා ප්‍රඥාව ලෙස පිළිවෙලින් අපගේ ඉලක්කය වෙත යොමු කරන, ඉහත කී ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ විහිද යන ශික්ෂණ මාර්ගයකි. ශිලයෙන් කය හා වචනය හික්මවයි. සමාධියෙන් හිත හික්මවයි. ප්‍රඥාවෙන් පංචස්කන්ධයේ යථා ස්වභාවය අවබෝධකරමින් පුද්ගලයා හික්මීමේ අවසන් හිනි පෙත්තට ළඟා කරවයි. එහි ප්‍රතිපලය නිවන ලෙස හඳුන්වන දුකින් මිදුනු, පරම ශාන්තිය බව බුදු දහමේ ඉගැන්වීමයි. 

ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කොට ප්‍රත්‍යක්ෂව ධර්මය අවබෝධ කිරීමෙන් විනා තර්ක කිරීමෙන් හෝ පත පොත තුළින් පමණක් නිවනට ළඟාවිය නොහැකිය.  බෙහෙත් සීට්ටුව කියවමින් සිට හෝ ගුණාගුණ තර්ක කරමින් සිට ලෙඩ සුව කරගන්නට නොහැකි බව නොකිව මනාය. 

ලෝකසත්වයාට දුකින් මිදීමේ මාර්ගය පැහැදිළි කිරීම පිණිස, අවශ්‍ය පමණට පමණක්, තමන් විසින් අවබෝධ කොටගත් ධර්මය බුදුන් වහන්සේ විසින් දෙසූහ.

ලෝකය, භෞතික හා අධ්‍යාත්මික වශයෙන් දෙකොටසකට බෙදා දැක්විය හැකිය. රූප හා නාම ලෙස හැඳින්වෙන්නේද එයමය. ඒ හැර ලෝකෝත්තර වූ නිවන නමැති ස්වභාවය ද පවතී. භාවනාවෙන් සිත දියුණු කිරීමෙන් එම නිර්වානය අවබෝධ කළ හැකිය.

නිර්මල බුදු දහම, වෙනස්වන, වෙනස් කළ හැකි, විකාශය වන දර්ශනයක් නොවේ. එය මුළ, මැද, අග යහපත් වූ කේවල පරිපූර්ණ වූ පරම සත්‍යයයි. පටිච්චසමුප්පාද ධර්මය, පංචස්කන්ධ විභාගය, චතුරාර්ය සත්‍යය වැනි මූලික බෞද්ධාගමික ඉගැන්වීම් හොඳින් හදාරා තිබීම නිර්වානාවබෝධය සඳහා උපකාර වේ. එමෙන්ම විවිධ අත්තනෝමතික මත බුදු දහම ලෙස සමාජගත වනවිට ඒවා විමසා බැලිය යුත්තේ ද මේ ඉගැන්වීම් හා ගලපමිනි.  

බුදු දහමේ ඇතුළත් මූලික ඉගැන්වීම් නිවැරදිව අවබෝධ කර ගැනීමට සහායවනු පිණිස, ඉදිරියේ දි හැකිතාත් සරලව එම කරුණු ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි.