ඇස්. ගොඩගේ විසින් ප්‍රකාශිත දිවංගත, විශ්‍රාමලත් විදුහල්පති, ඩී. වී. සමරකෝන් මහතා විසින් සම්පාදිත 'සසර ගමන හා නිවන' ඇසුරින් සකස් කෙරෙන ලිපි මාලාවකි.

Sunday, May 20, 2018

5. ප්‍රතිසන්ධි විඤ්ඤාණය නිසා පහලවන පංචස්කන්ධය - විඤ්ඤාණ පච්චයා නාම රූපං


ප්‍රතිසන්ධි විඤ්ඤාණය පහලවීමත් සමගම නාමස්කන්ධයට අයත් වේදනා, සංඥා, සංඛාර යන චෛතසික ධර්ම පහල වේ. එහි දී විඤ්ඤාණය නමැති ප්‍රධාන නාම ධර්මය පහලවීම එම අනෙක් චෛතසික නාම ධර්ම පහල වීමට හේතු වේ. 

ප්‍රතිසන්ධි විඤ්ඤාණය සමගම උපදින සත්ත්වයින්ට රූප හෙවත් කයක් ද පහළ වේ. රූපය විඤ්ඤාණයට ද, විඤ්ඤාණය රූපයට ද, ආධාරකව පවතී. ප්‍රතිසන්ධි විඤ්ඤාණය හා රූපය වැඩී ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන යන ස්ථාන හය තුළ විඤ්ඤාණ හයක් වශයෙන් ක්‍රියාත්මක වේ. දැකීම චක්ඛු විඤ්ඤාණය ද, ඇසීම සෝත විඤ්ඤාණය ද, ආඝ්‍රහණය ඝාන විඤ්ඤාණය ද, රස දැනීම ජිව්හා විඤ්ඤාණය ද, ස්පර්ශය කාය විඤ්ඤාණය ද, සිතුවිලි මනෝ විඤ්ඤාණය ද, පහල වීමකි. එක් කුඩා බීජයක්, අතුපතර විහිදා මහ ගසක්ව වැඩී බොහෝ බීජ ඇතිවන්නා සේ, එක් පුද්ගලයෙකු තුළ පහළවන අනන්ත විඤ්ඤාණයන් මගින් අනන්ත කුසල් අකුසල් නමැති බීජ රැස් වේ. 

ඒ අනුව විඤ්ඤාණය හේතුකොට ගෙන නාම හා රූප ධර්මයන්ගේ පහල වීම සිදු වේ. රූපස්ඛන්ධයක පහලවීම සිදු වන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මහා භූත රූප නමැති ධර්මතා හතරක එකතුවෙනි. එසේ පහලවන භූත රූප, රූප  කලාපයක් ලෙස හැඳින්විය හැකිය. ශරීරයක් විනාශ වී යාමේ දී එකී ධර්මතා එකිනෙකින් වෙන්ව ගොස් කිසිවක් ඉතිරි නොවේ. 

සත්වයා යනු පරමාර්ථ වශයෙන් නැති, නාම ධර්ම, රූප ධර්ම, සංඛ්‍යාත ධර්මතා රැසක එකතුවකි. ඒවා එකිනෙකින් වෙන්ව බෙදී ගිය පසු පුද්ගලයෙකු වශයෙන් සැලකිය හැකි කිසිවක් එහි ඉතිරි නොවේ.

රූපය නොමැතිව විපාක විඤ්ඤාණය පමණක් පහල වන්නේ ශරීරයක් නොමැති අරූපී බ්‍රහ්මයන් වෙසෙන අරූප ලෝකයේ පමණකි. අරූපී බ්‍රහ්මයන්ට ශරීරයක් නොමැති හෙයින් චක්ඛු, සෝතා දී ආයතන හෝ ඒ මගින් ලබන ඵස්ස, වේදනා ආදිය ද නොලබයි. 

ඒ අනුව ඒ ඒ භවයන්හි පහළ වන විවිධාකාර නාම රූප පහළ වන්නේ විඤ්ඤාණය හේතුවෙනි. විඤ්ඤාණය පහල නොවේ නම් ඒ කිසිවක හට ගැනීමක් ද නැත. විඤ්ඤාණය නිසා නාම රූප හට ගනීයයි බුදුරදුන් වදාළේ එහෙයිනි.

Saturday, May 5, 2018

4. කුසල් අකුසල් නිසා පහළවන ප්‍රතිසන්ධි විඤ්ඤාණය - ‘සංඛාර පච්චයා විඤ්ඤාණං’


රණාසන්නයේ දී පුද්ගලයෙකුට ඊළඟ භවය ලබා දීමට, ඔහු විසින් එම භවයේ දී හෝ ඉන් පෙර භවයක දී කරන ලද කුසල් හෝ අකුසල්වලින් බලවත්ම කර්මය, කම්ම නියාමය හා චිත්ත නියාමය අනුව  හේතු වේ. චුති චිත්තය නම් වූ එම භවයේ පහලවන අවසන් සිත, ප්‍රාණය නිරුද්ධ වීමත් සමග ජීවත් වීමේ ආශාව විසින් මෙහෙයවනු ලදුව, ඉදිරියට යමින් එම චුති චිත්තයට අනුරූපව විපාක වශයෙන් ඊළඟ ජාතියෙහි පළමු විඤ්ඤාණය පහල කරයි. ඉපදීම යනු එයයි.

භව දෙකක් සන්ධි කරන හෙයින් අභිනව භවයේ පළමු විඤ්ඤාණය ප්‍රතිසන්ධි (පටිසන්ධි) විඤ්ඤාණය ලෙස හැඳින් වේ.

කෙබඳු හදිසි මරණයක දී වුව ද, සිත යට සැඟ වී ඇති පෙර කර්මය අතුරින් බලවත්ම කර්මය මතු වී ඒ අනුව ක්ෂණිකව පහලවන චුති චිත්තය, කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන තුනෙන් එක් අරමුණක් ඔස්සේ ඉදිරියට විකාශය වෙයි. එය කිසිවෙකුට සිය උත්සාහයෙන් වෙනස්කරගත හැකි ධර්මතාවයක් ද නොවේ. බුදු දහමේ සංඛාර පච්චයා විඤ්ඤාණං යනුවෙන් විස්තර වන්නේ එයයි.

ආර්ය සත්‍ය දේශනාව අනුව දුක හෙවත් පඤ්චස්කන්ධය පහල වීමට හේතුව තෘෂ්ණාවය. ඉහත විස්තර කළ පරිදි ප්‍රතිසන්ධි විඤ්ඤාණය පහල වීමට හේතු වන්නේ කුසල් හා අකුසල් ය.