ඇස්. ගොඩගේ විසින් ප්‍රකාශිත දිවංගත, විශ්‍රාමලත් විදුහල්පති, ඩී. වී. සමරකෝන් මහතා විසින් සම්පාදිත 'සසර ගමන හා නිවන' ඇසුරින් සකස් කෙරෙන ලිපි මාලාවකි.

Tuesday, September 10, 2019

9. වේදනාවක් හේතුවෙන් කිසිවක් කෙරෙහි ඇතිවන කැමැත්ත - වේදනා පච්චයා තණ්හා


අධ්‍යාත්මික හෙවත් තමන් පිළිබඳ වූ හෝ බාහිර වූ යමක් පිළිබඳව ඇතිවන ඕනෑකම, කැමැත්ත, ආශාව, ලෝභකම, ඇලීම, ආදරය, බැඳීම, ප්‍රේමය යනාදී ලෙසින් හැඳින්වෙන හැඟීම “තණ්හා නම් වේ. මෙකී තණ්හාව ඇති වන්නේ වේදනාව මුල්කොට ගෙනය. 

යමෙක් ඇසින් පියකරු රූපයක් දැක එය හොඳ යැයි නිශ්චය කරයි නම්; එයින් සතුටක්, සොම්නසක් විඳියි නම්; ඊට ඇලුම් කරයි නම්; නැවත නැවත දකින්නට ආශා කරයි නම්; එහෙයින්ම එය තමන් සතු කරගන්නට ද සිතති. වේදනාව නිසා තන්හාව ඇති වන්නේ ඒ ආකාරයෙනි. එසේ ඇති වන්නේ රූප තණ්හාවයි. එසේම ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන මේවා නිසා ද තණ්හාව ඇති වේ. මෙසේ සළායතනයන් හි උපදින වේදනා නිසා සයාකාර තෘෂ්ණාවක් ඇති වේ.

මෙම තෘෂ්ණාව අතීත අරමුණු නිසා ද, වර්තමාන අරමුණු නිසා ද, අනාගතය හා සම්බන්ධ අරමුණු නිසා ද, සිත තුළ පහල විය හැකිය. තමන් පිළිබඳව මෙන්ම අනුන් පිළිබඳව ද ඇති විය හැකිය. සැප වේදනා ලබා දෙන විවිධ වස්තූන් විෂයයෙහි ද තෘෂ්ණාව ඇති වේ. එනම් අඹු දරුවන්, මිල මුදල්, ගෙවල් දොරවල්, යාන වාහන, වතු පිටි, දෙව් ලොව සැප, බඹ ලොව සැප ආදී නොයෙකුත් දෑ පිළිබඳව ය. ඒ සියළුම ආශාවන්ට මුල ශඩේන්ද්‍රියයන් මගින් සැප ලැබීමේ ආශාවය.

එම සියලුම තණ්හාවන්, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නමින් තුන් වැදෑරුම් වේ. කාම තණ්හාව යනු, කාම වස්තූන් පිළිබඳ තණ්හාවයි. භව තණ්හාව යනු, ශාස්වත දෘෂ්ටිය හෙවත් සදාකාලික ආත්මයක් ඇත යන මිත්‍යාදෘෂ්ටිය සමග බැඳී ඇති වන එම තණ්හාවයි. විභව තණ්හාව යනු උච්ඡේද දෘෂ්ටිය හෙවත් මරණින් මතු ඉපදීමක් නැත යන මිත්‍යාදෘෂ්ටිය සමග බැඳී ඇතිවන එම තණ්හාවයි.

Sunday, September 1, 2019

8. සම්ඵස්සයන් නිසා ඇතිවන සැප හෝ දුක් වේදනා - ඵස්ස පච්චයා වෙදනා



පෙර කී සම්ඵස්සයන් නිසා සැප හෝ දුක් වේදනා ඇතිවන බව මෙහි තේරුමයි. සැප, දුක්, උපේක්ෂා යනුවෙන් වේදනාවන් තුනක් පවතී. උපේක්ෂාවක් යනු සැපක් හෝ දුකක් නොවන මැදිහත් විඳීමකි. එය ද මඳ සැප සංඛ්‍යාවකට අයත්වන නිසා, වේදනා සැප, දුක් යන කොටස් දෙකට ද බෙදා දැක් වේ.
ඉෂ්ට අරමුණකින් සැප වේදනා ද, අනිෂ්ට අරමුණකින් දුක් වේදනා ද ඇති වේ. ඇස නිසා ඇතිවන සුඛ වේදනාව, චක්ඛු සම්ඵස්සජ සුඛ වේදනාවයි. කණ නිසා ඇතිවන සුඛ වේදනාව සෝත සම්ඵස්සජ සුඛ වේදනාවයි. අනෙක් වේදනාවන් ද මේ ආකාරයෙන් වටහා ගත යුතුය.
සුඛ වේදනා සෝමනස්ස වේදනා නමින් ද, දුක්ඛ වේදනා දෝමනස්ස වේදනා නමින් ද හැඳින්වේ. මැදහත් අරමුණක ලබන සැප හෝ දුක් නොවූ වේදනාව උපේක්ෂා වේදනා නමින් හැඳින් වේ. එක් පුද්ගලයෙකුට දුක උපදවන අරමුණක්, තව කෙනෙකුට සැප උපදවන අරමුණක් විය හැකිය. එකම පුද්ගලයෙකුට වුව ද, එක් විටෙක සැප උපදවන අරමුණක්, තවත් විටෙක දුක උපදවන අරමුණක් විය හැකිය.
යම් කිසි හේතුවකින් ස්පර්ශය දුබල වන විට, වේදනාව ද දුබල වේ. එවිට ඉෂ්ට අනිෂ්ට අරමුණකින් හෝ සෝමනස්සය, දෝමනස්සය වෙනුවට උපේක්ෂාව ම ලබා දෙයි. කෙසේ හෝ ඵස්සයක් ඇති වූ කල්හි, නිතැතින්ම අනිවාර්යයෙන්ම වේදනාවක් ද ඇති වේ. ඵස්ස පච්චයා වේදනා යන්නෙහි අරුත එයයි.

7. සළායතනයන් නිසා ඇතිවන ස්පර්ශයන් - සළායතන පච්චයා ඵස්සො



පෙර කී සළායතනයන් නිසා ඵස්සය හෙවත් ස්පර්ශය ඇතිවේය යන්න මෙහි අර්ථයයි. එසේ ඇතිවන ඵස්සයන් සය ආකාර වේ.
ඇස හා රූපය ගැටීමෙන් චක්ඛු විඤ්ඤාණය ඇති වේ. ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය යන තුනේ එකතුවට චක්ඛු සම්ඵස්සයයි කියනු ලැබේ. අනෙක් සම්ඵස්සයන් ද ඒ ආකාරයෙන් ම තේරුම් ගත යුතුය. මනායතනයෙහි බාහිරායතන සයම ගන්නා ස්වභාවය ඇත. මනෝ විඤ්ඤාණය පහල වන්නේ මනෝද්වාරය හෙවත් භවාංග චිත්තය ඊට ආරම්මණය වූ ධම්මායතනය හා ගැටීමෙනි. එම තුනේ එකතුව මනෝ සම්ඵස්සයයි.