ඇස්. ගොඩගේ විසින් ප්‍රකාශිත දිවංගත, විශ්‍රාමලත් විදුහල්පති, ඩී. වී. සමරකෝන් මහතා විසින් සම්පාදිත 'සසර ගමන හා නිවන' ඇසුරින් සකස් කෙරෙන ලිපි මාලාවකි.

Friday, April 20, 2018

3. අවිද්‍යාව නිසා හටගන්නා කුසල් හා අකුසල්- අවිජ්ජා පච්චයා සංඛාරා


අවිද්‍යාව යනුවෙන් බුදු දහමේ නිර්වචනය වී ඇත්තේ චතුරාර්ය සත්‍යයය නොදැනීමයි. චතුරාර්ය සත්‍යය යනු දුක, දුක ඉපදීමට හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය යන ආර්ය සත්‍ය හතරයි.

දුක හෙවත් දුක්ඛ සත්‍යය වන්නේ, සත්ත්වයා යනුවෙන් හැඳින්වෙන පඤ්චස්කන්ධය දුක් රැසක් බවයි. සත්වයෙකු නිර්මාණය කෙරෙන පඤ්චස්කන්ධය වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන සාධකයන් පහය. එම සාධකයන් නාම, රූප යනුවෙන් කොටස් දෙකකට බෙදා දැක්විය  හැකිය. නාම යනු සිත වන අතර, එයට වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන සාධකයන් හතරම අයත් වේ. රූපය යනු ශරීරයයි. පඤ්චස්කන්ධයක්, සත්වයෙක්, පුද්ගලයෙක් හෝ තමා ගේ පහල වීම යහපතක්යැයි සිතීම අවිද්‍යාවයි.

නුවණින් සලකා බැලීමේ දී මෙම පඤ්චස්කන්ධයේ පැවැත්ම දුකක් බව අවබෝධ වේ. විදර්ශනා භාවනාව මගින් සිත දියුණු කර ලබන මාර්ග සිතට එය ප්‍රත්‍යක්ෂව පෙනේ. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් යනුවෙන් මාර්ග සිත් හතරක් වෙත විදර්ශනා භාවනාව තුළින් ළඟාවිය හැකිය. සතර වැනි සිත පහල වීමෙන් සම්පූර්ණවන එම අවබෝධය මගින් පඤ්චස්කන්ධය වෙත පැවති ආශාව, බැඳීම දුරු වේ. එයින් කුසල්, අකුසල් රැස්වීම ද නතර වෙයි.

දුක්ඛ සත්‍යය අවබෝධ වන විට දුක ඉපදීමට හේතුව වූ තණ්හාව, දුක නැතිවීම නම් වූ නිවන, දුක නැති කිරීමේ මාර්ගය නම් වූ ඒ සඳහා යා යුතු මාර්ගය හෙවත් ප්‍රතිපදාව පිළිබඳව ද අවබෝධය ලැබේ.  මෙම අවබෝධය ලැබෙන තෙක් සත්ත්වයා විසින් හොඳ නරක සියලු දේ කරනු ලබන්නේ පඤ්චස්කන්ධය කෙරෙහි ආශාවෙන්, එය උසස් තත්වයෙන් පවත්වා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එහෙයින් එසේ කරනු ලබන යහපත් දේ කුසල් ලෙසත්, අයහපත් දේ අකුසල් ලෙසත් සිත තුළම රැස් වේ. ඒවාට ඊට අනුරූප පඤ්චස්කන්ධ නිර්මාණය කිරීමටත්, සැප හා දුක් විපාක ලබා දීමටත් ශක්තිය ඇත. ව්‍යවහාර වශයෙන් සැපයයි කියනු ලබන සෑම දෙයක්ම පරමාර්ථ වශයෙන් දුක්මය. ශීතල හා උණුසුම මෙනි. ශීතල හා උණුසුම ලෙස ව්‍යවහාර දෙකක් පැවතුන ද, ශීතල යනු අඩු ප්‍රමාණයේ උණුසුමකි.

සංසාර චක්‍රය කැරකීමට බලය ලබා දෙන්නේ අවිද්‍යාව නිසා රැස්වන කර්ම වේගවලිනි. අවිජ්ජා පච්චයා සංඛාරා යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ ඒ නිසාය.

ලෝකෝත්තර නිර්වාණය ලබාදෙන සතර මාර්ග සිත් ලෝකෝත්තර කුසල් නමින් හැඳින්වුව ද, සංස්කාර ගනයට නො ගැනේ. එයින් ලබා දෙන්නේ අසංඛත ධර්මයක් වූ නිවන ය.

ලෞකික සැප සම්පත් ලබා දෙන ලෞකික කුසල්, කාම, රූප, අරූප භවයන් හි සැප ලබාදෙන අතර, අකුසල් දුක් විපාක ගෙන එයි. ද්වාර වශයෙන් සිත, කය, වචනය යන තිදොරින් සිදුවන අකුසල් දහයකි. පානාතිපාතය, අදින්නාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, පිශුනාවාචය, පරුෂාවාචය, සම්ප්‍රප්පලාපය, අභිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යාදෘෂ්ටිය ලෙස වදාළ එම දස අකුසලයන් වන්නේ, ප්‍රාණඝාතය, අන්සතු වස්තුවක් සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, අසත්‍ය පැවසීම, අන්‍යයන් භේද කිරීම සඳහා යමක් කීම, සිත රිදවීම සඳහා ප්‍රකාශ සිදු කිරීම, යහපත සඳහා හේතු නොවන කථා කීම, අන්සතු දෑ අයිතිකර ගැනීමට සිතීම, අනුන්ගේ විනාශය පැතීම හා වැරදි මතයන් සත්‍ය ලෙස පිළිගැනීම යි. 

එම අකුසලයන්ගෙන් වෙන් වීම දස කුසල් නමින් හැඳින්වේ. අකුසල්වලින් වෙන්වීම විරති සීල නම් වෙයි.

 සීලය සමාධියට ද, සමාධිය ප්‍රඥාවට ද හේතු වේ. එබැවින් කුසල්වලින් ලෞකික හා ලෝකෝත්තර සැප ලබා දෙන අතර, අකුසල් දුක් විපාක ලබා දෙයි. ලෝකෝත්තර කුසල් සම්පාදනය සඳහා මග පාදා දෙන්නේ ලෞකික කුසල් ය. කුසල්වලින්  අර්ථයක්, යහපතක් මිස අනර්ථයක්, අයහපතක් කිසිවිට ඇති නොකරයි.

Friday, April 6, 2018

2. පටිච්ච සමුප්පාදය හෙවත් හේතු ඵල ධර්මය


ශ්‍රී මහා බෝධිය මුල දී, කුමන හේතුවක් නිසා සත්ත්වයා හටගන්නේ ද යන්න විමසා බැලූ මහබෝසතුන්ට කුසල්, අකුසල් හේතුවෙන් ජාතිය හෙවත් ඉපදීම සිදුවන බව පෙනින. අනුලෝම, ප්‍රතිලෝම වශයෙන් ඒ පිළිබඳව මෙනෙහි කිරීමෙන් උන්වහන්සේට, සියලු කෙලෙස් නසා නිවන් අවබෝධ කළ හැකි විය. සත්වයාගේ එම ඉපදීම හා මරණය සංසාර චක්‍රය ලෙස හැඳින්විය හැකිය.

එම සසර දුක නැතිවන්නේ නැවත ඉපදීම නැවතීමෙනි. එය නිර්වානයයි. එම නිර්වාන අවබෝධය ඇති කරගත හැක්කේ සසර දුක් ඇති වීමට මුල්වන හේතුව වූ අවිද්‍යාව හා තණ්හාව පිටුදැක සත්‍යාවබෝධය ඇතිකර ගැනීමෙනි.

සත්ත්වයාගේ සංසාරික පැවැත්ම හා එහි නැවැත්ම වූ නිවන පිළිබඳව ඉගැන්වෙන බෞද්ධ න්‍යාය ධර්මය ලෙස පටිච්ච සමුප්පාදය හැඳින්විය හැකිය. පටිච්ච සමුප්පාද පාළිය ලෙස එය මෙසේ හකුළා දැක්විය හැකිය.

අවිජ්ජා පච්චයා සංඛාරා
සංඛාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා නාමරූපං
නාමරූප පච්චයා සළායතනං
සළායතන පච්චයා ඵස්සො
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවො
භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා මරණං 
සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති
ඒව මේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති

එම පාලි පාඨයන්හි සිංහල අර්ථය වන්නේ

අවිද්‍යාව නිසා සංස්කාර (පින් පව්) හටගනී
සංස්කාරයන් නිසා (ප්‍රතිසන්ධි) විඤ්ඤාණය පහල වේ
විඤ්ඤාණය නිසා නාම රූප (සිත, කය) දෙක හට ගනී
නාම රූප නිසා සලායතන (සංවේදී ස්ථාන) හටගනී
ලායතන නිසා ස්පර්ශය (දැනීම්) පහළ වේ
ස්පර්ශය නිසා වේදනාව (සැප හෝ දුක්) පහළ වේ
වේදනාව නිසා තණ්හාව (ආශාව) පහළ වේ
තණ්හාව නිසා උපාදානය (බැඳීම) පහල වේ
උපාදානය නිසා භවය (කර්ම රැස් කිරීම) පහල වේ
භවය නිසා ජාතිය (නැවත ඉපදීම) සිදු වේ
ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සයෝ පහළ වෙත්.
මෙසේ මෙම ඒකාන්ත දුක්කස්කන්ධයාගේ පහළ වීම සිදුවෙයි.

ඉදිරි සටහන්වල දී, ඉහත එක් එක් පාඨයෙහි සරල සිංහල අර්ථයන් පැහැදිලි කෙරෙයි.