සසර ගමන

ඇස්. ගොඩගේ විසින් ප්‍රකාශිත දිවංගත, විශ්‍රාමලත් විදුහල්පති, ඩී. වී. සමරකෝන් මහතා විසින් සම්පාදිත 'සසර ගමන හා නිවන' ඇසුරින් සකස් කෙරෙන ලිපි මාලාවකි.

Monday, November 25, 2019

11. තදින් ඇලීම නිසා සිදුවන නැවත ඉපදීම - උපාදාන පච්චයා භවො




භව යන්නෙන් කම්මභව හා උපපත්ති භව නොහොත් විපාක භව ලෙස හැඳින්වෙන භවයන් දෙකක් අදහස් කෙරේ.       

කම්ම භව වන්නේ පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර හා ආනෙඤජාභි සංඛාර යන භවගාමී කර් මයෝ ය.

උපපත්ති භව හෙවත් විපාක භව නම් එම කර් මයන්ට විපාක වශයෙන් උපත ලබන විවිධ ස්වභාවයෝය. එම උප්පත්ති භවය - කාම භවය, රූප භවය, අරූප භවය ආදී වශයෙන් එක් අයුරකින් ද, සංඥාභවය, අසංඥාභවය, නේව සංඥා නාසංඥාභවය යනුවෙන් එක් අයුරකින් ද, ඒක වෝකාරභවය, චතු වෝකාරභවය, පංඤ්ච වෝකාරභවය යනුවෙන් තවත් ආකාරයකින් ද, බෙදා දැක් වේ. භව සියල්ල එක්කොට ගත් කල නව ආකාරයක් වේ.

උපාදානය, ළඟින් හේතු වන්නේ කර් මයට ය. කාම රූපාදී භවයන්ට දුරින් හේතු වේ.

උපාදානය සිදු නොවන කල්හි කර් ම රැස්වීමක් සිදු නොවේ. උපාදානය හා කර් ම රැස්වීමක් සිදු නොවන කල, කර් මයන්ට අනුරූප උත්පත්තීන් ලබන ස්කන්ධ ස්වභාවයෝ ද හට නොගනිත්. අවිද්‍යාව, තණ්හාව, උපාදානය නොමැති රහතන්වහන්සේට කර් ම රැස්වීමක් නොමැත. ඒ නිසා උත්පත්ති භවය හෙවත් නැවත උපදින ස්වභාවය ද නැත.

උපාදානය ඇති තැනැත්තා කාම වස්තූන් ලබනු පිණිස, දෙව් ලොව සැප, බඹලොව සැප ලැබීම පිණිස තමන්ට රුචිවන රූපස්කන්ධ, නාමස්කන්ධ, ලබනු පිණිස නා නා විධ කුසල හා අකුසල ක්‍රියාවන් කරයි. එයින් ඔහුට භවගාමී කුසල් අකුසල් ම රැස් වේ. විපාක වශයෙන් එයට අනුරූපව උත්පත්තීන් ද ලබයි. මේ ආකාරයෙන් උපාදානය නිසා කම්ම භව, උපපත්ති භව යන භව දෙකම හටගන්නා බව පැහැදිලිය.

‘අවිජ්ජා පච්චයා සංඛාරායන්නෙහි සංඛාරා යනුවෙන් අදහස් කර ඇත්තේ ද කර් මයයි. ‘උපාදාන පච්චයා භවොයන්නෙන් දක්වා ඇත්තේ උපාදානය නිසා භව හෙවත් කර් ම ඇතිවේ ය යන්නයි. කර් මය දෙතැනකම සඳහන් කර ඇත්තේ හේතු ඇතිවය.

පටිච්ච සමුප්පාද දේශනාවේ ජාති තුනක සම්බන්ධය දැක්වේ. එනම් පෙර ජාතිය, වර් තමාන ජාතිය හා අනාගත ජාතියයි. වර් තමාන ජාතිය හටගන්වන, අතීත ජාතියට අයත් කර් ම, සංඛාර නමින් ද, අනාගත ජාතිය හටගන්වන, වර් තමාන ජාතියට අයත් කර් ම, කර් ම භව නමින් ද දක්වා ඇත.

උපාදානය නිසා කම්මභව හා උත්පත්ති භව හට ගන්නා ආකාරය මෙසේ සරල උදාහරණයක් මගින් පැහැදිලි කරගත හැකිය. යම් පුද්ගලයෙකුට තමන් වසන ගෙය අතහැර වෙනත් ගෙයක පදිංචියට යාමට උවමනාවක් ඇති වෙයි. එවිට හෙතෙම තමන්ට යාමට අවශ්‍ය පලාතෙන් ඉඩමක් මිල දී ගැනීමට හා ගෙයක් තනා ගැනීමට අවශ්‍ය මුදල් හා භාණ්ඩ රැස් කර ගනී. ඉන්පසු එම මුදල්වලින් ඉඩම මිළයට ගෙන ගෙය ඉදි කර ගනී. අවසානයේ දී පරණ ගෙය අතහැර, අළුත් ගෙදර පදිංචියට යයි.

එහි දී වෙනත් තැනෙක පදිංචියට යාමට ඇති වූ උවමනාව උපාදානය වැනිය. එම උවමනාව නිසා මුදල් හා භාණ්ඩ රැස්කර ගැනීම කර් ම රැස් කිරීම හෙවත් කම්ම භවය වැනිය. මුදල් හා භාණ්ඩ යොදා ඉඩම මිළට ගැනීම හා ගෙය ඉදි කර ගැනීම උපපත්ති භවය වැනිය.

සත්ත්වයා ගේ නැවත නැවත  හටගැනීමට අවිද්‍යා තෘෂ්ණා දෙක ද හේතු වන නමුත් මෙම දේශනාවේ දී එම හේතු මෙම භව චක්‍රයේම වෙනත් තැන්වලට යොදා ඇත. එය මෙසේ දත යුතුය. ගස නිසා ගෙඩි හට ගනී කිවුව ද, ගස නිසා මල් ද, මල් නිසා ගෙඩි ද හට ගනී කිව්ව ද නොගැලපීමක් නොමැති සේ ය.

යමෙකු උපදින්නට පෙර එම පුද්ගලයා ඉපදිය යුතු තැන ඔහුගේ කර් මය විසින් තීරණය වන්නේ ද යන්න ගැටළුවක් විය හැකිය.

අප මහ බෝසතුන් බුදුවන ආත්මයේ දී, ඉපදිය යුතු තැන උන්වහන්සේගේ කර් ම බලයෙන් සකස් වී තිබූ බව ප්‍රකට කරුණකි. පස් මහ බැලුම් වශයෙන් බෝසතුන් විසින් ම එය බලා ගත් සේක. එහෙත් අන් සැමට එම හැකියාව නැත. බෝසතුන් ගේ පශ්චිම භවය පිළිබඳව ඊට සාරා සංඛ කල්ප ලක්ෂයකට පෙර දිපංකර බුදුන්වහන්සේට උන්වහන්සේ ගේ බුද්ධ ඥාණයෙන් පෙනුනේය. බුදුවන තෙක් බෝසතුන් ගේ සංසාර ගමන සකස් කරන ලද්දේ බුදු වීමට ඇති වූ ප්‍රාර්ථනාව නිසා ඒ අනුව රැස් කළ කර් ම බලයෙනි. එම පැතුම උන්වහන්සේට කර් ම රැස්වන උපාදානයක් විය.

මිනිස් ලොවින් චුත වී දෙව්ලොව උපදින සමහර දෙනාට මෙයින් චුත වීමට පෙරම දෙව් විමන් පහලව තිබූ බව සඳහන් ය. එහෙත් දෙව් ලොව උපදින සෑම දෙනාටම එසේ පහල නොවේ. කෙසේ වුව ද උත්පත්තිය ලැබීමට අවශ්‍ය ස්කන්ධ ස්වභාවය හා වටපිටාව කර් මය විසින් කෙනෙකු ඉපදීමට පෙර හෝ උපදින අවස්ථාවේ සකස් කර දෙනු ලබයි. එය ද පටිච්චසමුප්පාදයට අයත් ධර්මතාවයකි. විපාක භවය නොහොත් උත්පත්ති භවය යනු එයයි.

Tuesday, October 8, 2019

10. තණ්හාව නිසා සිදුවන තදින් ගැනීම - තණ්හා පච්චයා උපාදානං


උපාදානය යනුවෙන් අදහස් වන්නේ තදින් ගැනීම හෙවත් ඇලීම යන්නයි. යම් ආශාවක්, උවමනාවක් සිතෙහි නැවත නැවත ඇති වීමෙන් එය බලවත් වේ. කෙමෙන් එය සිතින් ඉවත් කර ගැනීමට අපහසු තත්වයකට පැමිණේ. එසේ වැඩුනා වූ තණ්හාව උපාදානය නම් වේ. තණ්හාවක් නැවත නැවත ඉපදීම උපාදානයක් ඇති වීමට හේතු වෙයි.  ඒ නිසාම තණ්හා පච්චයා උපාදානං යි වදාළ සේක.

උපාදානය කාමූපාදානය, දිට්ඨූපාදානය, සීලබ්බතූපාදානය, අන්තවාදූපාදානය යනුවෙන් සතරාකාර වේ. යට සඳහන් සවැදෑරුම් කාම හෙවත් තණ්හාවන් ප්‍රබල වීමෙන් ඇති වන්‍නේ කාමූපාදානයෝය.

දිට්ඨූපාදානය යනු විවිධ මිථ්‍යාදෘෂ්ටීන්හි තදින් එල්බ ගැනීමයි. එබඳු මිත්‍යාදෘෂ්ටීන් දහයක් දක්වා ඇත. එනම්,

1.  දීමෙන් පලක් නැත.                                                                                                            
2.  යිට්ඨ නම් වූ මහා දාන දීමෙන් පලක් නැත.                                                        
3.  හුත නම් වූ කැඳවා දෙන දානයෙන් පලක්  නැත.                                                           
4.  දස කුසලය, දස අකුසලය යන හොඳ නරක දෙකින් පලක් නැත.                   
5.  පරලොව සිටින්නන්ට නැවත පැමිණීමට මෙලොවක් නැත.                         
6.  මෙලොවින් යාමට පරලොවයැයි තැනක් නැත.                                                
7. මවට කරන හොඳ නරකවල විපාක නැත.                                                        
8.  පියාට කරන හොඳ නරකවල විපාක නැත.                                                      
9. නැවත නැවත මැරි මැරී උපදින සත්ත්වයෝ නැත.                                        
10. මෙලොව, පරලොව දෙක දැක ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත.

මෙම දෘෂ්ටි ඇති වන්නේ පඤ්චස්කන්ධයට ඇලුම් කොට සැප විඳීමේ තණ්හාව මුල් කොට ගෙනය. එබැවින් තෘෂ්ණාව නිසාම දිට්ඨූපාදානය ද ඇති වේ ය යි කියැවේ.

සීලබ්බතුපාදානය යනු බුදුරදුන් වදාල නිවන් මග වූ මධ්‍යම ප්‍රතිපදාව හැර අජවෘත, ගෝවෘත, කුක්කුරවෘත ආදී සීලවෘත සමාදානයෙන් දුක කෙළවර කළ හැකිය යි තදින් ගැනීමයි. එහි ඇලී ගැලී සිටීමයි.

අන්තවාදූපාදානය යනු පඤ්චස්කන්ධය මමය, මාගේය, හොඳ දෙයක්ය යනුවෙන් සිතමින් ඒ පිළිබඳව තද ඇල්මක්, ආශාවක්, තණ්හාවක්, තදින් අල්ලා ගැනීමක් ඇති කර ගැනීමයි. නැවත නැවත එය ලැබීමට කැමති වීමයි.

Tuesday, September 10, 2019

9. වේදනාවක් හේතුවෙන් කිසිවක් කෙරෙහි ඇතිවන කැමැත්ත - වේදනා පච්චයා තණ්හා


අධ්‍යාත්මික හෙවත් තමන් පිළිබඳ වූ හෝ බාහිර වූ යමක් පිළිබඳව ඇතිවන ඕනෑකම, කැමැත්ත, ආශාව, ලෝභකම, ඇලීම, ආදරය, බැඳීම, ප්‍රේමය යනාදී ලෙසින් හැඳින්වෙන හැඟීම “තණ්හා නම් වේ. මෙකී තණ්හාව ඇති වන්නේ වේදනාව මුල්කොට ගෙනය. 

යමෙක් ඇසින් පියකරු රූපයක් දැක එය හොඳ යැයි නිශ්චය කරයි නම්; එයින් සතුටක්, සොම්නසක් විඳියි නම්; ඊට ඇලුම් කරයි නම්; නැවත නැවත දකින්නට ආශා කරයි නම්; එහෙයින්ම එය තමන් සතු කරගන්නට ද සිතති. වේදනාව නිසා තන්හාව ඇති වන්නේ ඒ ආකාරයෙනි. එසේ ඇති වන්නේ රූප තණ්හාවයි. එසේම ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන මේවා නිසා ද තණ්හාව ඇති වේ. මෙසේ සළායතනයන් හි උපදින වේදනා නිසා සයාකාර තෘෂ්ණාවක් ඇති වේ.

මෙම තෘෂ්ණාව අතීත අරමුණු නිසා ද, වර්තමාන අරමුණු නිසා ද, අනාගතය හා සම්බන්ධ අරමුණු නිසා ද, සිත තුළ පහල විය හැකිය. තමන් පිළිබඳව මෙන්ම අනුන් පිළිබඳව ද ඇති විය හැකිය. සැප වේදනා ලබා දෙන විවිධ වස්තූන් විෂයයෙහි ද තෘෂ්ණාව ඇති වේ. එනම් අඹු දරුවන්, මිල මුදල්, ගෙවල් දොරවල්, යාන වාහන, වතු පිටි, දෙව් ලොව සැප, බඹ ලොව සැප ආදී නොයෙකුත් දෑ පිළිබඳව ය. ඒ සියළුම ආශාවන්ට මුල ශඩේන්ද්‍රියයන් මගින් සැප ලැබීමේ ආශාවය.

එම සියලුම තණ්හාවන්, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නමින් තුන් වැදෑරුම් වේ. කාම තණ්හාව යනු, කාම වස්තූන් පිළිබඳ තණ්හාවයි. භව තණ්හාව යනු, ශාස්වත දෘෂ්ටිය හෙවත් සදාකාලික ආත්මයක් ඇත යන මිත්‍යාදෘෂ්ටිය සමග බැඳී ඇති වන එම තණ්හාවයි. විභව තණ්හාව යනු උච්ඡේද දෘෂ්ටිය හෙවත් මරණින් මතු ඉපදීමක් නැත යන මිත්‍යාදෘෂ්ටිය සමග බැඳී ඇතිවන එම තණ්හාවයි.

Sunday, September 1, 2019

8. සම්ඵස්සයන් නිසා ඇතිවන සැප හෝ දුක් වේදනා - ඵස්ස පච්චයා වෙදනා



පෙර කී සම්ඵස්සයන් නිසා සැප හෝ දුක් වේදනා ඇතිවන බව මෙහි තේරුමයි. සැප, දුක්, උපේක්ෂා යනුවෙන් වේදනාවන් තුනක් පවතී. උපේක්ෂාවක් යනු සැපක් හෝ දුකක් නොවන මැදිහත් විඳීමකි. එය ද මඳ සැප සංඛ්‍යාවකට අයත්වන නිසා, වේදනා සැප, දුක් යන කොටස් දෙකට ද බෙදා දැක් වේ.
ඉෂ්ට අරමුණකින් සැප වේදනා ද, අනිෂ්ට අරමුණකින් දුක් වේදනා ද ඇති වේ. ඇස නිසා ඇතිවන සුඛ වේදනාව, චක්ඛු සම්ඵස්සජ සුඛ වේදනාවයි. කණ නිසා ඇතිවන සුඛ වේදනාව සෝත සම්ඵස්සජ සුඛ වේදනාවයි. අනෙක් වේදනාවන් ද මේ ආකාරයෙන් වටහා ගත යුතුය.
සුඛ වේදනා සෝමනස්ස වේදනා නමින් ද, දුක්ඛ වේදනා දෝමනස්ස වේදනා නමින් ද හැඳින්වේ. මැදහත් අරමුණක ලබන සැප හෝ දුක් නොවූ වේදනාව උපේක්ෂා වේදනා නමින් හැඳින් වේ. එක් පුද්ගලයෙකුට දුක උපදවන අරමුණක්, තව කෙනෙකුට සැප උපදවන අරමුණක් විය හැකිය. එකම පුද්ගලයෙකුට වුව ද, එක් විටෙක සැප උපදවන අරමුණක්, තවත් විටෙක දුක උපදවන අරමුණක් විය හැකිය.
යම් කිසි හේතුවකින් ස්පර්ශය දුබල වන විට, වේදනාව ද දුබල වේ. එවිට ඉෂ්ට අනිෂ්ට අරමුණකින් හෝ සෝමනස්සය, දෝමනස්සය වෙනුවට උපේක්ෂාව ම ලබා දෙයි. කෙසේ හෝ ඵස්සයක් ඇති වූ කල්හි, නිතැතින්ම අනිවාර්යයෙන්ම වේදනාවක් ද ඇති වේ. ඵස්ස පච්චයා වේදනා යන්නෙහි අරුත එයයි.

7. සළායතනයන් නිසා ඇතිවන ස්පර්ශයන් - සළායතන පච්චයා ඵස්සො



පෙර කී සළායතනයන් නිසා ඵස්සය හෙවත් ස්පර්ශය ඇතිවේය යන්න මෙහි අර්ථයයි. එසේ ඇතිවන ඵස්සයන් සය ආකාර වේ.
ඇස හා රූපය ගැටීමෙන් චක්ඛු විඤ්ඤාණය ඇති වේ. ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය යන තුනේ එකතුවට චක්ඛු සම්ඵස්සයයි කියනු ලැබේ. අනෙක් සම්ඵස්සයන් ද ඒ ආකාරයෙන් ම තේරුම් ගත යුතුය. මනායතනයෙහි බාහිරායතන සයම ගන්නා ස්වභාවය ඇත. මනෝ විඤ්ඤාණය පහල වන්නේ මනෝද්වාරය හෙවත් භවාංග චිත්තය ඊට ආරම්මණය වූ ධම්මායතනය හා ගැටීමෙනි. එම තුනේ එකතුව මනෝ සම්ඵස්සයයි.

Monday, June 4, 2018

6. නාම රූප වර්ධනය වීමෙන් හට ගන්නා ආයතන - නාම රූප පච්චයා සළායතනං


සළායතන යනු චක්ඛායතනය (ඇස), සෝතායතනය (කණ), ඝානායතනය (නාසය), ජිව්හායතනය (දිව), කායාතනය (කය), යන දැනීම් ඇතිවන ස්ථාන පහ සහ මනායතනය (මනස) විඤ්ඤාණ ධාතුවය. විඤ්ඤාණය නිසා හටගත් නාම රූප වර්ධනය වී මෙම ආයතන හය පහල වේ. මනායතනය පහල වන්නේ නාම යයි කියන ලද චෛතසිකයන්ගේ වර්ධනයෙනි. 

ආයතන යනුවෙන් මෙහි අදහස් කෙරෙන්නේ කිසියම් අරමුණක් ඔස්සේ කිසියම් කාරණයක් ගලායාමට සලස්වන්නා වැනි අරුතකි. අරමුණු ගනිමින් විඤ්ඤාණ පරම්පරාව ඉදිරියට ගලායාමට සලස්වා එයින් සංසාරය දිග්ගස්සන හෙයින් ද, ඒවා හි කුසල්, අකුසල් රැස්වන නිසා ද, එම සය තැන ආයතන නම් වේ. 

යමෙක් තම ඇසින් ප්‍රිය කෙරෙන රූපයක් දැක ඊට ආශා කරමින් එය ලබා ගැනීමට හොඳ හා නරක දෑ සිදුකරයි. අප්‍රිය රූපයක් දැක ඊට ද්වේශ කරයි. එය විනාශ කිරීමට තැත් කරයි. කුසල් හා අකුසල් රැස් වන්නේ එම ක්‍රියාවන් හේතුවෙනි. සංසාරය දිගුවන්නට එයම හේතු වේ. 

කාම ලෝකයෙහි මේ ආයතන සයම පහල වේ. රූප ලෝකයෙහි පහල වන්නේ චක්ඛායතනය, සෝතායතනය, මනායතනය යන තුන පමණි. අරූප භවයෙහි මනායතනය පමණක් පහල වේ.

Sunday, May 20, 2018

5. ප්‍රතිසන්ධි විඤ්ඤාණය නිසා පහලවන පංචස්කන්ධය - විඤ්ඤාණ පච්චයා නාම රූපං


ප්‍රතිසන්ධි විඤ්ඤාණය පහලවීමත් සමගම නාමස්කන්ධයට අයත් වේදනා, සංඥා, සංඛාර යන චෛතසික ධර්ම පහල වේ. එහි දී විඤ්ඤාණය නමැති ප්‍රධාන නාම ධර්මය පහලවීම එම අනෙක් චෛතසික නාම ධර්ම පහල වීමට හේතු වේ. 

ප්‍රතිසන්ධි විඤ්ඤාණය සමගම උපදින සත්ත්වයින්ට රූප හෙවත් කයක් ද පහළ වේ. රූපය විඤ්ඤාණයට ද, විඤ්ඤාණය රූපයට ද, ආධාරකව පවතී. ප්‍රතිසන්ධි විඤ්ඤාණය හා රූපය වැඩී ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන යන ස්ථාන හය තුළ විඤ්ඤාණ හයක් වශයෙන් ක්‍රියාත්මක වේ. දැකීම චක්ඛු විඤ්ඤාණය ද, ඇසීම සෝත විඤ්ඤාණය ද, ආඝ්‍රහණය ඝාන විඤ්ඤාණය ද, රස දැනීම ජිව්හා විඤ්ඤාණය ද, ස්පර්ශය කාය විඤ්ඤාණය ද, සිතුවිලි මනෝ විඤ්ඤාණය ද, පහල වීමකි. එක් කුඩා බීජයක්, අතුපතර විහිදා මහ ගසක්ව වැඩී බොහෝ බීජ ඇතිවන්නා සේ, එක් පුද්ගලයෙකු තුළ පහළවන අනන්ත විඤ්ඤාණයන් මගින් අනන්ත කුසල් අකුසල් නමැති බීජ රැස් වේ. 

ඒ අනුව විඤ්ඤාණය හේතුකොට ගෙන නාම හා රූප ධර්මයන්ගේ පහල වීම සිදු වේ. රූපස්ඛන්ධයක පහලවීම සිදු වන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මහා භූත රූප නමැති ධර්මතා හතරක එකතුවෙනි. එසේ පහලවන භූත රූප, රූප  කලාපයක් ලෙස හැඳින්විය හැකිය. ශරීරයක් විනාශ වී යාමේ දී එකී ධර්මතා එකිනෙකින් වෙන්ව ගොස් කිසිවක් ඉතිරි නොවේ. 

සත්වයා යනු පරමාර්ථ වශයෙන් නැති, නාම ධර්ම, රූප ධර්ම, සංඛ්‍යාත ධර්මතා රැසක එකතුවකි. ඒවා එකිනෙකින් වෙන්ව බෙදී ගිය පසු පුද්ගලයෙකු වශයෙන් සැලකිය හැකි කිසිවක් එහි ඉතිරි නොවේ.

රූපය නොමැතිව විපාක විඤ්ඤාණය පමණක් පහල වන්නේ ශරීරයක් නොමැති අරූපී බ්‍රහ්මයන් වෙසෙන අරූප ලෝකයේ පමණකි. අරූපී බ්‍රහ්මයන්ට ශරීරයක් නොමැති හෙයින් චක්ඛු, සෝතා දී ආයතන හෝ ඒ මගින් ලබන ඵස්ස, වේදනා ආදිය ද නොලබයි. 

ඒ අනුව ඒ ඒ භවයන්හි පහළ වන විවිධාකාර නාම රූප පහළ වන්නේ විඤ්ඤාණය හේතුවෙනි. විඤ්ඤාණය පහල නොවේ නම් ඒ කිසිවක හට ගැනීමක් ද නැත. විඤ්ඤාණය නිසා නාම රූප හට ගනීයයි බුදුරදුන් වදාළේ එහෙයිනි.