ඇස්. ගොඩගේ විසින් ප්‍රකාශිත දිවංගත, විශ්‍රාමලත් විදුහල්පති, ඩී. වී. සමරකෝන් මහතා විසින් සම්පාදිත 'සසර ගමන හා නිවන' ඇසුරින් සකස් කෙරෙන ලිපි මාලාවකි.

Monday, November 25, 2019

11. තදින් ඇලීම නිසා සිදුවන නැවත ඉපදීම - උපාදාන පච්චයා භවො




භව යන්නෙන් කම්මභව හා උපපත්ති භව නොහොත් විපාක භව ලෙස හැඳින්වෙන භවයන් දෙකක් අදහස් කෙරේ.       

කම්ම භව වන්නේ පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර හා ආනෙඤජාභි සංඛාර යන භවගාමී කර් මයෝ ය.

උපපත්ති භව හෙවත් විපාක භව නම් එම කර් මයන්ට විපාක වශයෙන් උපත ලබන විවිධ ස්වභාවයෝය. එම උප්පත්ති භවය - කාම භවය, රූප භවය, අරූප භවය ආදී වශයෙන් එක් අයුරකින් ද, සංඥාභවය, අසංඥාභවය, නේව සංඥා නාසංඥාභවය යනුවෙන් එක් අයුරකින් ද, ඒක වෝකාරභවය, චතු වෝකාරභවය, පංඤ්ච වෝකාරභවය යනුවෙන් තවත් ආකාරයකින් ද, බෙදා දැක් වේ. භව සියල්ල එක්කොට ගත් කල නව ආකාරයක් වේ.

උපාදානය, ළඟින් හේතු වන්නේ කර් මයට ය. කාම රූපාදී භවයන්ට දුරින් හේතු වේ.

උපාදානය සිදු නොවන කල්හි කර් ම රැස්වීමක් සිදු නොවේ. උපාදානය හා කර් ම රැස්වීමක් සිදු නොවන කල, කර් මයන්ට අනුරූප උත්පත්තීන් ලබන ස්කන්ධ ස්වභාවයෝ ද හට නොගනිත්. අවිද්‍යාව, තණ්හාව, උපාදානය නොමැති රහතන්වහන්සේට කර් ම රැස්වීමක් නොමැත. ඒ නිසා උත්පත්ති භවය හෙවත් නැවත උපදින ස්වභාවය ද නැත.

උපාදානය ඇති තැනැත්තා කාම වස්තූන් ලබනු පිණිස, දෙව් ලොව සැප, බඹලොව සැප ලැබීම පිණිස තමන්ට රුචිවන රූපස්කන්ධ, නාමස්කන්ධ, ලබනු පිණිස නා නා විධ කුසල හා අකුසල ක්‍රියාවන් කරයි. එයින් ඔහුට භවගාමී කුසල් අකුසල් ම රැස් වේ. විපාක වශයෙන් එයට අනුරූපව උත්පත්තීන් ද ලබයි. මේ ආකාරයෙන් උපාදානය නිසා කම්ම භව, උපපත්ති භව යන භව දෙකම හටගන්නා බව පැහැදිලිය.

‘අවිජ්ජා පච්චයා සංඛාරායන්නෙහි සංඛාරා යනුවෙන් අදහස් කර ඇත්තේ ද කර් මයයි. ‘උපාදාන පච්චයා භවොයන්නෙන් දක්වා ඇත්තේ උපාදානය නිසා භව හෙවත් කර් ම ඇතිවේ ය යන්නයි. කර් මය දෙතැනකම සඳහන් කර ඇත්තේ හේතු ඇතිවය.

පටිච්ච සමුප්පාද දේශනාවේ ජාති තුනක සම්බන්ධය දැක්වේ. එනම් පෙර ජාතිය, වර් තමාන ජාතිය හා අනාගත ජාතියයි. වර් තමාන ජාතිය හටගන්වන, අතීත ජාතියට අයත් කර් ම, සංඛාර නමින් ද, අනාගත ජාතිය හටගන්වන, වර් තමාන ජාතියට අයත් කර් ම, කර් ම භව නමින් ද දක්වා ඇත.

උපාදානය නිසා කම්මභව හා උත්පත්ති භව හට ගන්නා ආකාරය මෙසේ සරල උදාහරණයක් මගින් පැහැදිලි කරගත හැකිය. යම් පුද්ගලයෙකුට තමන් වසන ගෙය අතහැර වෙනත් ගෙයක පදිංචියට යාමට උවමනාවක් ඇති වෙයි. එවිට හෙතෙම තමන්ට යාමට අවශ්‍ය පලාතෙන් ඉඩමක් මිල දී ගැනීමට හා ගෙයක් තනා ගැනීමට අවශ්‍ය මුදල් හා භාණ්ඩ රැස් කර ගනී. ඉන්පසු එම මුදල්වලින් ඉඩම මිළයට ගෙන ගෙය ඉදි කර ගනී. අවසානයේ දී පරණ ගෙය අතහැර, අළුත් ගෙදර පදිංචියට යයි.

එහි දී වෙනත් තැනෙක පදිංචියට යාමට ඇති වූ උවමනාව උපාදානය වැනිය. එම උවමනාව නිසා මුදල් හා භාණ්ඩ රැස්කර ගැනීම කර් ම රැස් කිරීම හෙවත් කම්ම භවය වැනිය. මුදල් හා භාණ්ඩ යොදා ඉඩම මිළට ගැනීම හා ගෙය ඉදි කර ගැනීම උපපත්ති භවය වැනිය.

සත්ත්වයා ගේ නැවත නැවත  හටගැනීමට අවිද්‍යා තෘෂ්ණා දෙක ද හේතු වන නමුත් මෙම දේශනාවේ දී එම හේතු මෙම භව චක්‍රයේම වෙනත් තැන්වලට යොදා ඇත. එය මෙසේ දත යුතුය. ගස නිසා ගෙඩි හට ගනී කිවුව ද, ගස නිසා මල් ද, මල් නිසා ගෙඩි ද හට ගනී කිව්ව ද නොගැලපීමක් නොමැති සේ ය.

යමෙකු උපදින්නට පෙර එම පුද්ගලයා ඉපදිය යුතු තැන ඔහුගේ කර් මය විසින් තීරණය වන්නේ ද යන්න ගැටළුවක් විය හැකිය.

අප මහ බෝසතුන් බුදුවන ආත්මයේ දී, ඉපදිය යුතු තැන උන්වහන්සේගේ කර් ම බලයෙන් සකස් වී තිබූ බව ප්‍රකට කරුණකි. පස් මහ බැලුම් වශයෙන් බෝසතුන් විසින් ම එය බලා ගත් සේක. එහෙත් අන් සැමට එම හැකියාව නැත. බෝසතුන් ගේ පශ්චිම භවය පිළිබඳව ඊට සාරා සංඛ කල්ප ලක්ෂයකට පෙර දිපංකර බුදුන්වහන්සේට උන්වහන්සේ ගේ බුද්ධ ඥාණයෙන් පෙනුනේය. බුදුවන තෙක් බෝසතුන් ගේ සංසාර ගමන සකස් කරන ලද්දේ බුදු වීමට ඇති වූ ප්‍රාර්ථනාව නිසා ඒ අනුව රැස් කළ කර් ම බලයෙනි. එම පැතුම උන්වහන්සේට කර් ම රැස්වන උපාදානයක් විය.

මිනිස් ලොවින් චුත වී දෙව්ලොව උපදින සමහර දෙනාට මෙයින් චුත වීමට පෙරම දෙව් විමන් පහලව තිබූ බව සඳහන් ය. එහෙත් දෙව් ලොව උපදින සෑම දෙනාටම එසේ පහල නොවේ. කෙසේ වුව ද උත්පත්තිය ලැබීමට අවශ්‍ය ස්කන්ධ ස්වභාවය හා වටපිටාව කර් මය විසින් කෙනෙකු ඉපදීමට පෙර හෝ උපදින අවස්ථාවේ සකස් කර දෙනු ලබයි. එය ද පටිච්චසමුප්පාදයට අයත් ධර්මතාවයකි. විපාක භවය නොහොත් උත්පත්ති භවය යනු එයයි.

1 comment: