ඇස්. ගොඩගේ විසින් ප්‍රකාශිත දිවංගත, විශ්‍රාමලත් විදුහල්පති, ඩී. වී. සමරකෝන් මහතා විසින් සම්පාදිත 'සසර ගමන හා නිවන' ඇසුරින් සකස් කෙරෙන ලිපි මාලාවකි.

Tuesday, September 10, 2019

9. වේදනාවක් හේතුවෙන් කිසිවක් කෙරෙහි ඇතිවන කැමැත්ත - වේදනා පච්චයා තණ්හා


අධ්‍යාත්මික හෙවත් තමන් පිළිබඳ වූ හෝ බාහිර වූ යමක් පිළිබඳව ඇතිවන ඕනෑකම, කැමැත්ත, ආශාව, ලෝභකම, ඇලීම, ආදරය, බැඳීම, ප්‍රේමය යනාදී ලෙසින් හැඳින්වෙන හැඟීම “තණ්හා” නම් වේ. මෙකී තණ්හාව ඇති වන්නේ වේදනාව මුල්කොට ගෙනය. 

යමෙක් ඇසින් පියකරු රූපයක් දැක එය හොඳ යැයි නිශ්චය කරයි නම්; එයින් සතුටක්, සොම්නසක් විඳියි නම්; ඊට ඇලුම් කරයි නම්; නැවත නැවත දකින්නට ආශා කරයි නම්; එහෙයින්ම එය තමන් සතු කරගන්නට ද සිතති. වේදනාව නිසා තන්හාව ඇති වන්නේ ඒ ආකාරයෙනි. එසේ ඇති වන්නේ රූප තණ්හාවයි. එසේම ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන මේවා නිසා ද තණ්හාව ඇති වේ. මෙසේ සළායතනයන් හි උපදින වේදනා නිසා සයාකාර තෘෂ්ණාවක් ඇති වේ.

මෙම තෘෂ්ණාව අතීත අරමුණු නිසා ද, වර්තමාන අරමුණු නිසා ද, අනාගතය හා සම්බන්ධ අරමුණු නිසා ද, සිත තුළ පහල විය හැකිය. තමන් පිළිබඳව මෙන්ම අනුන් පිළිබඳව ද ඇති විය හැකිය. සැප වේදනා ලබා දෙන විවිධ වස්තූන් විෂයයෙහි ද තෘෂ්ණාව ඇති වේ. එනම් අඹු දරුවන්, මිල මුදල්, ගෙවල් දොරවල්, යාන වාහන, වතු පිටි, දෙව් ලොව සැප, බඹ ලොව සැප ආදී නොයෙකුත් දෑ පිළිබඳව ය. ඒ සියළුම ආශාවන්ට මුල ශඩේන්ද්‍රියයන් මගින් සැප ලැබීමේ ආශාවය.

එම සියලුම තණ්හාවන්, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නමින් තුන් වැදෑරුම් වේ. කාම තණ්හාව යනු, කාම වස්තූන් පිළිබඳ තණ්හාවයි. භව තණ්හාව යනු, ශාස්වත දෘෂ්ටිය හෙවත් සදාකාලික ආත්මයක් ඇත යන මිත්‍යාදෘෂ්ටිය සමග බැඳී ඇති වන එම තණ්හාවයි. විභව තණ්හාව යනු උච්ඡේද දෘෂ්ටිය හෙවත් මරණින් මතු ඉපදීමක් නැත යන මිත්‍යාදෘෂ්ටිය සමග බැඳී ඇතිවන එම තණ්හාවයි.

Sunday, September 1, 2019

8. සම්ඵස්සයන් නිසා ඇතිවන සැප හෝ දුක් වේදනා - ඵස්ස පච්චයා වෙදනා



පෙර කී සම්ඵස්සයන් නිසා සැප හෝ දුක් වේදනා ඇතිවන බව මෙහි තේරුමයි. සැප, දුක්, උපේක්ෂා යනුවෙන් වේදනාවන් තුනක් පවතී. උපේක්ෂාවක් යනු සැපක් හෝ දුකක් නොවන මැදිහත් විඳීමකි. එය ද මඳ සැප සංඛ්‍යාවකට අයත්වන නිසා, වේදනා සැප, දුක් යන කොටස් දෙකට ද බෙදා දැක් වේ.
ඉෂ්ට අරමුණකින් සැප වේදනා ද, අනිෂ්ට අරමුණකින් දුක් වේදනා ද ඇති වේ. ඇස නිසා ඇතිවන සුඛ වේදනාව, චක්ඛු සම්ඵස්සජ සුඛ වේදනාවයි. කණ නිසා ඇතිවන සුඛ වේදනාව සෝත සම්ඵස්සජ සුඛ වේදනාවයි. අනෙක් වේදනාවන් ද මේ ආකාරයෙන් වටහා ගත යුතුය.
සුඛ වේදනා සෝමනස්ස වේදනා නමින් ද, දුක්ඛ වේදනා දෝමනස්ස වේදනා නමින් ද හැඳින්වේ. මැදහත් අරමුණක ලබන සැප හෝ දුක් නොවූ වේදනාව උපේක්ෂා වේදනා නමින් හැඳින් වේ. එක් පුද්ගලයෙකුට දුක උපදවන අරමුණක්, තව කෙනෙකුට සැප උපදවන අරමුණක් විය හැකිය. එකම පුද්ගලයෙකුට වුව ද, එක් විටෙක සැප උපදවන අරමුණක්, තවත් විටෙක දුක උපදවන අරමුණක් විය හැකිය.
යම් කිසි හේතුවකින් ස්පර්ශය දුබල වන විට, වේදනාව ද දුබල වේ. එවිට ඉෂ්ට අනිෂ්ට අරමුණකින් හෝ සෝමනස්සය, දෝමනස්සය වෙනුවට උපේක්ෂාව ම ලබා දෙයි. කෙසේ හෝ ඵස්සයක් ඇති වූ කල්හි, නිතැතින්ම අනිවාර්යයෙන්ම වේදනාවක් ද ඇති වේ. ඵස්ස පච්චයා වේදනා යන්නෙහි අරුත එයයි.

7. සළායතනයන් නිසා ඇතිවන ස්පර්ශයන් - සළායතන පච්චයා ඵස්සො



පෙර කී සළායතනයන් නිසා ඵස්සය හෙවත් ස්පර්ශය ඇතිවේය යන්න මෙහි අර්ථයයි. එසේ ඇතිවන ඵස්සයන් සය ආකාර වේ.
ඇස හා රූපය ගැටීමෙන් චක්ඛු විඤ්ඤාණය ඇති වේ. ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය යන තුනේ එකතුවට චක්ඛු සම්ඵස්සයයි කියනු ලැබේ. අනෙක් සම්ඵස්සයන් ද ඒ ආකාරයෙන් ම තේරුම් ගත යුතුය. මනායතනයෙහි බාහිරායතන සයම ගන්නා ස්වභාවය ඇත. මනෝ විඤ්ඤාණය පහල වන්නේ මනෝද්වාරය හෙවත් භවාංග චිත්තය ඊට ආරම්මණය වූ ධම්මායතනය හා ගැටීමෙනි. එම තුනේ එකතුව මනෝ සම්ඵස්සයයි.

Monday, June 4, 2018

6. නාම රූප වර්ධනය වීමෙන් හට ගන්නා ආයතන - නාම රූප පච්චයා සළායතනං


සළායතන යනු චක්ඛායතනය (ඇස), සෝතායතනය (කණ), ඝානායතනය (නාසය), ජිව්හායතනය (දිව), කායාතනය (කය), යන දැනීම් ඇතිවන ස්ථාන පහ සහ මනායතනය (මනස) විඤ්ඤාණ ධාතුවය. විඤ්ඤාණය නිසා හටගත් නාම රූප වර්ධනය වී මෙම ආයතන හය පහල වේ. මනායතනය පහල වන්නේ නාම යයි කියන ලද චෛතසිකයන්ගේ වර්ධනයෙනි. 

ආයතන යනුවෙන් මෙහි අදහස් කෙරෙන්නේ කිසියම් අරමුණක් ඔස්සේ කිසියම් කාරණයක් ගලායාමට සලස්වන්නා වැනි අරුතකි. අරමුණු ගනිමින් විඤ්ඤාණ පරම්පරාව ඉදිරියට ගලායාමට සලස්වා එයින් සංසාරය දිග්ගස්සන හෙයින් ද, ඒවා හි කුසල්, අකුසල් රැස්වන නිසා ද, එම සය තැන ආයතන නම් වේ. 

යමෙක් තම ඇසින් ප්‍රිය කෙරෙන රූපයක් දැක ඊට ආශා කරමින් එය ලබා ගැනීමට හොඳ හා නරක දෑ සිදුකරයි. අප්‍රිය රූපයක් දැක ඊට ද්වේශ කරයි. එය විනාශ කිරීමට තැත් කරයි. කුසල් හා අකුසල් රැස් වන්නේ එම ක්‍රියාවන් හේතුවෙනි. සංසාරය දිගුවන්නට එයම හේතු වේ. 

කාම ලෝකයෙහි මේ ආයතන සයම පහල වේ. රූප ලෝකයෙහි පහල වන්නේ චක්ඛායතනය, සෝතායතනය, මනායතනය යන තුන පමණි. අරූප භවයෙහි මනායතනය පමණක් පහල වේ.

Sunday, May 20, 2018

5. ප්‍රතිසන්ධි විඤ්ඤාණය නිසා පහලවන පංචස්කන්ධය - විඤ්ඤාණ පච්චයා නාම රූපං


ප්‍රතිසන්ධි විඤ්ඤාණය පහලවීමත් සමගම නාමස්කන්ධයට අයත් වේදනා, සංඥා, සංඛාර යන චෛතසික ධර්ම පහල වේ. එහි දී විඤ්ඤාණය නමැති ප්‍රධාන නාම ධර්මය පහලවීම එම අනෙක් චෛතසික නාම ධර්ම පහල වීමට හේතු වේ. 

ප්‍රතිසන්ධි විඤ්ඤාණය සමගම උපදින සත්ත්වයින්ට රූප හෙවත් කයක් ද පහළ වේ. රූපය විඤ්ඤාණයට ද, විඤ්ඤාණය රූපයට ද, ආධාරකව පවතී. ප්‍රතිසන්ධි විඤ්ඤාණය හා රූපය වැඩී ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන යන ස්ථාන හය තුළ විඤ්ඤාණ හයක් වශයෙන් ක්‍රියාත්මක වේ. දැකීම චක්ඛු විඤ්ඤාණය ද, ඇසීම සෝත විඤ්ඤාණය ද, ආඝ්‍රහණය ඝාන විඤ්ඤාණය ද, රස දැනීම ජිව්හා විඤ්ඤාණය ද, ස්පර්ශය කාය විඤ්ඤාණය ද, සිතුවිලි මනෝ විඤ්ඤාණය ද, පහල වීමකි. එක් කුඩා බීජයක්, අතුපතර විහිදා මහ ගසක්ව වැඩී බොහෝ බීජ ඇතිවන්නා සේ, එක් පුද්ගලයෙකු තුළ පහළවන අනන්ත විඤ්ඤාණයන් මගින් අනන්ත කුසල් අකුසල් නමැති බීජ රැස් වේ. 

ඒ අනුව විඤ්ඤාණය හේතුකොට ගෙන නාම හා රූප ධර්මයන්ගේ පහල වීම සිදු වේ. රූපස්ඛන්ධයක පහලවීම සිදු වන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මහා භූත රූප නමැති ධර්මතා හතරක එකතුවෙනි. එසේ පහලවන භූත රූප, රූප  කලාපයක් ලෙස හැඳින්විය හැකිය. ශරීරයක් විනාශ වී යාමේ දී එකී ධර්මතා එකිනෙකින් වෙන්ව ගොස් කිසිවක් ඉතිරි නොවේ. 

සත්වයා යනු පරමාර්ථ වශයෙන් නැති, නාම ධර්ම, රූප ධර්ම, සංඛ්‍යාත ධර්මතා රැසක එකතුවකි. ඒවා එකිනෙකින් වෙන්ව බෙදී ගිය පසු පුද්ගලයෙකු වශයෙන් සැලකිය හැකි කිසිවක් එහි ඉතිරි නොවේ.

රූපය නොමැතිව විපාක විඤ්ඤාණය පමණක් පහල වන්නේ ශරීරයක් නොමැති අරූපී බ්‍රහ්මයන් වෙසෙන අරූප ලෝකයේ පමණකි. අරූපී බ්‍රහ්මයන්ට ශරීරයක් නොමැති හෙයින් චක්ඛු, සෝතා දී ආයතන හෝ ඒ මගින් ලබන ඵස්ස, වේදනා ආදිය ද නොලබයි. 

ඒ අනුව ඒ ඒ භවයන්හි පහළ වන විවිධාකාර නාම රූප පහළ වන්නේ විඤ්ඤාණය හේතුවෙනි. විඤ්ඤාණය පහල නොවේ නම් ඒ කිසිවක හට ගැනීමක් ද නැත. විඤ්ඤාණය නිසා නාම රූප හට ගනීයයි බුදුරදුන් වදාළේ එහෙයිනි.

Saturday, May 5, 2018

4. කුසල් අකුසල් නිසා පහළවන ප්‍රතිසන්ධි විඤ්ඤාණය - ‘සංඛාර පච්චයා විඤ්ඤාණං’


මරණාසන්නයේ දී පුද්ගලයෙකුට ඊළඟ භවය ලබා දීමට, ඔහු විසින් එම භවයේ දී හෝ ඉන් පෙර භවයක දී කරන ලද කුසල් හෝ අකුසල්වලින් බලවත්ම කර්මය, කම්ම නියාමය හා චිත්ත නියාමය අනුව  හේතු වේ. චුති චිත්තය නම් වූ එම භවයේ පහලවන අවසන් සිත, ප්‍රාණය නිරුද්ධ වීමත් සමග ජීවත් වීමේ ආශාව විසින් මෙහෙයවනු ලදුව, ඉදිරියට යමින් එම චුති චිත්තයට අනුරූපව විපාක වශයෙන් ඊළඟ ජාතියෙහි පළමු විඤ්ඤාණය පහල කරයි. ඉපදීම යනු එයයි.

භව දෙකක් සන්ධි කරන හෙයින් අභිනව භවයේ පළමු විඤ්ඤාණය ප්‍රතිසන්ධි (පටිසන්ධි) විඤ්ඤාණය ලෙස හැඳින් වේ.

කෙබඳු හදිසි මරණයක දී වුව ද, සිත යට සැඟ වී ඇති පෙර කර්මය අතුරින් බලවත්ම කර්මය මතු වී ඒ අනුව ක්ෂණිකව පහලවන චුති චිත්තය, කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන තුනෙන් එක් අරමුණක් ඔස්සේ ඉදිරියට විකාශය වෙයි. එය කිසිවෙකුට සිය උත්සාහයෙන් වෙනස්කරගත හැකි ධර්මතාවයක් ද නොවේ. බුදු දහමේ ‘සංඛාර පච්චයා විඤ්ඤාණං’ යනුවෙන් විස්තර වන්නේ එයයි.

ආර්ය සත්‍ය දේශනාව අනුව දුක හෙවත් පඤ්චස්කන්ධය පහල වීමට හේතුව තෘෂ්ණාවය. ඉහත විස්තර කළ පරිදි ප්‍රතිසන්ධි විඤ්ඤාණය පහල වීමට හේතු වන්නේ කුසල් හා අකුසල් ය.

Friday, April 20, 2018

3. අවිද්‍යාව නිසා හටගන්නා කුසල් හා අකුසල්- අවිජ්ජා පච්චයා සංඛාරා


අවිද්‍යාව යනුවෙන් බුදු දහමේ නිර්වචනය වී ඇත්තේ ‘චතුරාර්ය සත්‍යයය’ නොදැනීමයි. චතුරාර්ය සත්‍යය යනු දුක, දුක ඉපදීමට හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය යන ආර්ය සත්‍ය හතරයි.

දුක හෙවත් දුක්ඛ සත්‍යය වන්නේ, සත්ත්වයා යනුවෙන් හැඳින්වෙන පඤ්චස්කන්ධය දුක් රැසක් බවයි. සත්වයෙකු නිර්මාණය කෙරෙන පඤ්චස්කන්ධය වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන සාධකයන් පහය. එම සාධකයන් ‘නාම, රූප’ යනුවෙන් කොටස් දෙකකට බෙදා දැක්විය  හැකිය. නාම යනු සිත වන අතර, එයට වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන සාධකයන් හතරම අයත් වේ. රූපය යනු ශරීරයයි. පඤ්චස්කන්ධයක්, සත්වයෙක්, පුද්ගලයෙක් හෝ තමා ගේ පහල වීම යහපතක්යැයි සිතීම අවිද්‍යාවයි.

නුවණින් සලකා බැලීමේ දී මෙම පඤ්චස්කන්ධයේ පැවැත්ම දුකක් බව අවබෝධ වේ. විදර්ශනා භාවනාව මගින් සිත දියුණු කර ලබන මාර්ග සිතට එය ප්‍රත්‍යක්ෂව පෙනේ. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් යනුවෙන් මාර්ග සිත් හතරක් වෙත විදර්ශනා භාවනාව තුළින් ළඟාවිය හැකිය. සතර වැනි සිත පහල වීමෙන් සම්පූර්ණවන එම අවබෝධය මගින් පඤ්චස්කන්ධය වෙත පැවති ආශාව, බැඳීම දුරු වේ. එයින් කුසල්, අකුසල් රැස්වීම ද නතර වෙයි.

දුක්ඛ සත්‍යය අවබෝධ වන විට දුක ඉපදීමට හේතුව වූ තණ්හාව, දුක නැතිවීම නම් වූ නිවන, දුක නැති කිරීමේ මාර්ගය නම් වූ ඒ සඳහා යා යුතු මාර්ගය හෙවත් ප්‍රතිපදාව පිළිබඳව ද අවබෝධය ලැබේ.  මෙම අවබෝධය ලැබෙන තෙක් සත්ත්වයා විසින් හොඳ නරක සියලු දේ කරනු ලබන්නේ පඤ්චස්කන්ධය කෙරෙහි ආශාවෙන්, එය උසස් තත්වයෙන් පවත්වා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එහෙයින් එසේ කරනු ලබන යහපත් දේ කුසල් ලෙසත්, අයහපත් දේ අකුසල් ලෙසත් සිත තුළම රැස් වේ. ඒවාට ඊට අනුරූප පඤ්චස්කන්ධ නිර්මාණය කිරීමටත්, සැප හා දුක් විපාක ලබා දීමටත් ශක්තිය ඇත. ව්‍යවහාර වශයෙන් සැපයයි කියනු ලබන සෑම දෙයක්ම පරමාර්ථ වශයෙන් දුක්මය. ශීතල හා උණුසුම මෙනි. ශීතල හා උණුසුම ලෙස ව්‍යවහාර දෙකක් පැවතුන ද, ශීතල යනු අඩු ප්‍රමාණයේ උණුසුමකි.

සංසාර චක්‍රය කැරකීමට බලය ලබා දෙන්නේ අවිද්‍යාව නිසා රැස්වන කර්ම වේගවලිනි. අවිජ්ජා පච්චයා සංඛාරා යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ ඒ නිසාය.

ලෝකෝත්තර නිර්වාණය ලබාදෙන සතර මාර්ග සිත් ලෝකෝත්තර කුසල් නමින් හැඳින්වුව ද, සංස්කාර ගනයට නො ගැනේ. එයින් ලබා දෙන්නේ අසංඛත ධර්මයක් වූ නිවන ය.

ලෞකික සැප සම්පත් ලබා දෙන ලෞකික කුසල්, කාම, රූප, අරූප භවයන් හි සැප ලබාදෙන අතර, අකුසල් දුක් විපාක ගෙන එයි. ද්වාර වශයෙන් සිත, කය, වචනය යන තිදොරින් සිදුවන අකුසල් දහයකි. පානාතිපාතය, අදින්නාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, පිශුනාවාචය, පරුෂාවාචය, සම්ප්‍රප්පලාපය, අභිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යාදෘෂ්ටිය ලෙස වදාළ එම දස අකුසලයන් වන්නේ, ප්‍රාණඝාතය, අන්සතු වස්තුවක් සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, අසත්‍ය පැවසීම, අන්‍යයන් භේද කිරීම සඳහා යමක් කීම, සිත රිදවීම සඳහා ප්‍රකාශ සිදු කිරීම, යහපත සඳහා හේතු නොවන කථා කීම, අන්සතු දෑ අයිතිකර ගැනීමට සිතීම, අනුන්ගේ විනාශය පැතීම හා වැරදි මතයන් සත්‍ය ලෙස පිළිගැනීම යි. 

එම අකුසලයන්ගෙන් වෙන් වීම දස කුසල් නමින් හැඳින්වේ. අකුසල්වලින් වෙන්වීම විරති සීල නම් වෙයි.

 සීලය සමාධියට ද, සමාධිය ප්‍රඥාවට ද හේතු වේ. එබැවින් කුසල්වලින් ලෞකික හා ලෝකෝත්තර සැප ලබා දෙන අතර, අකුසල් දුක් විපාක ලබා දෙයි. ලෝකෝත්තර කුසල් සම්පාදනය සඳහා මග පාදා දෙන්නේ ලෞකික කුසල් ය. කුසල්වලින්  අර්ථයක්, යහපතක් මිස අනර්ථයක්, අයහපතක් කිසිවිට ඇති නොකරයි.